1947 ජනවාරි මස 21 වන දින ප්‍රදර්ශනය ආරම්භ වූ මෙරට ප්‍රථම කථානාද චිත්‍රපටය වූ 'කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයෙන් ඇරඹි සිනමා වංශය විවිධ ප්රවණතා ඔස්සේ විකාශනය විය. මුල් යුගයේ සිනමා කෘති අනුකාරකවාදී බවක් ඉසිලූ නමුත් ඒ අතරත් යථාර්ථවාදී රීතිය අනුව යමින් නිර්මාණය වූ චිත්‍රපට නොතිබුණා යැයි පැවසීම යුක්ති යුක්ත නොවේ. සිරිසේන විමලවීරයන් අධ්‍යක්ෂණය කරන ලද 'පොඩි පුතා’ චිත්‍රපටය ඊට කදිම නිදසුනකි. උගත්කම සහ විරැකියාව පිළිබඳ ව සාකච්ඡා කෙරෙන 'පොඩි පුතා' චිත්‍රපටය මුල් කාලීන සිනමාව සමඟ සැසඳීමේ දී විශිෂ්ට නිර්මාණයකි. පතිරාජගේ සිනමා ප්රකාශනය 70 දශකයේ බිහි වීමට ප්‍රථම ව ඊට අවශ්‍ය පසුබිම සිනමාව තුළ ගොඩනැඟෙමින් පැවති බව මේ අනුව පෙනී යයි.
1956 තිරගත වූ 'රේඛාව’ හරහා සිංහල සිනමාව නවමු දිශාවකට යොමු වූ බව නොරහසකි. එතැන් පටන් සිනමාවේ ගමන් මඟ අධ්‍යයනය කිරීමේ දී 60 දශකයේ දී නිර්මාණය වූ ඇතැම් චිත්‍රපට නවමු සිනමා ප්‍රවේශයක අවශ්‍යතාව පසක් කළ බව පෙනී යයි. 1963 දී තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 'ගම්පෙරළිය’, 1966 දී තිරගත වූ ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ 'පරසතු මල්’, 1967 දී තිරගත වූ මහාචාර්ය සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ 'සත් සමුදුර’, ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 'දෙලොවක් අතර’ උක්ත අවශ්‍යතාව ප්‍රකට කළ චිත්‍රපට අතරින් කිහිපයකි.
මෙවැනි පසුබිමක් ක්‍රියාත්මක වෙමින් පැවතුණු සමයෙක පතිරාජ ස්වකීය සිනමා ප්රකාශනය ආරම්භ කරන්නේ, 1969 දී තිරගත වූ 'හන්තානේ කතාව’ චිත්‍රපටයෙනි. විශ්වවිද්‍යාල උප සංස්කෘතිය, උපාධිධාරියා සහ මහා සමාජය අතර ඇති සබැඳියාව, විරැකියාව ආදී කරුණු පිළිබඳ ව සාකච්ඡා කෙරෙන හන්තානේ කතාව සුගතපාල ද සෙනරත් යාපාගේ අධ්‍යක්ෂණයකි. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ව සිටියදී චිත්‍රපටයේ පිටපත් රචනයට දායක වූ පතිරාජ, ඉන් ලද අත්දැකීම් ඔස්සේ ස්වකීය සිනමා චාරිකාව ඇරඹීය. හන්තානේ කතාව චිත්‍රපටය සිංහල සිනමාවේ නවමු ගමන්මඟක් ආරම්භ කළ චිත්‍රපටයක් බව නො රහසකි. ධර්මසේන පතිරාජ විකල්ප සිනමා මාධ්‍යයක් ලෙස යථාර්ථවාදී සිනමාව හඳුන්වා දුන් කාලය ද ඉතා වැදගත් ය. මෙරට නූතන සමාජ ඉතිහාසයේ කැපී පෙනෙන ප්රවණතා ප්‍රකට කෙරෙන උක්ත කාල වකවානුව විකල්ප සිනමාවක අවශ්‍යතාව තදින් දැනුණු කාල වකවානුවකි. 1969 දී තිරගත වූ 'සතුරෝ’ කෙටි චිත්‍රපටයෙන් ඇරඹි පතිරාජගේ සිනමා ආමන්ත්‍රණය අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, පාර දිගේ, සොල්දාදු උන්නැහේ, මතු යම් දවස සහ සක්කාරං දක්වා පුළුල් ආමන්ත්‍රණයක් විය. මේ අතරින් මෙම ලිපියේ දී අපේක්ෂා කරන්නේ, අහස් ගව්ව, බඹරු ඇවිත්, පාර දිගේ යන චිත්‍රපට ත්‍රිත්වය ඇසුරු කරගෙන පතිරාජගේ සිනමාවේ සුවිශේෂත්වය විමසීමටයි.
පතිරාජගේ ප්‍රථම දීර්ඝ විත්රපටය වන්නේ 1974 දී තිරගත වූ 'අහස් ගව්ව’ චිත්‍රපටය යි. පුළුල් සමාජ කියැවීමක් සහිත අහස් ගව්ව චිත්‍රපටය මෙරට ප්‍රේක්ෂකාගාරයට නවමු අත්දැකීමක් විය. විජේ, ගුණේ, සහ බන්දු යන චරිත ත්‍රිත්වය කේන්ද්‍ර කර ගෙන විකාශනය වන චිත්‍රපටයේ කථානායකයා විජේ ය. විරැකියාවෙන් පෙළෙන විජේ සහ ගුණේ මහතුන් නමැති මත්පැන් අලෙවිසැලක සේවකයෙකු සමඟ සමාජ විරෝධී ක්‍රියාවල නිරත වෙති. පසුව විජේ නීතියේ රැහැනට හසු වන අතර පසුව ඉන් නිදහස් වේ. අහස් ගව්ව චිත්‍රපටය, සමකාලීන දේශපාලන, ආර්ථික, සාමාජීය පරිසරය අපූර්වාකාරයෙන් නිරූපණය කළ චිත්‍රපටයකි. චිත්‍රපටය තිරගත වීමට වසර තුනකට ප්‍රථම ව එනම් 1971 ඇති වූ තරුණ අරගලය හේතුවෙන් ඉච්ඡා භංගත්වයට පත් තරුණ මානව මානවිකාවන්ගේ ජීවන ක්‍රියාවලිය චිත්‍රපටයෙන් නිරූපණය කෙරේ. විරැකියාව හේතුවෙන් තරුණ පිරිස් සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලට අවතීර්ණ වන ආකාරයත් ඉන් ඇති වන සමාජ ව්‍යසනයන් ද චිත්‍රපටයෙන් සාකච්ඡා කෙරේ. පතිරාජ සිය මුල්ම සිනමා කෘතිය තුළින් ම ප්‍රබල සමාජ කියැවීමක් කර ඇති බව පසක් වේ.
ධර්මසේන පතිරාජගේ සිනමා ප්රකාශනයේ අද්විතීය සිනමා නිර්මාණය ලෙස සැළකෙන 'බඹරු ඇවිත්’ චිත්‍රපටය 1978 දී තිරගත විය. බඹරු ඇවිත් චිත්‍රපටය ප්‍රබල සංකේතාත්මක චිත්‍රපටයකි. චිත්‍රපටය පුරාවට එකී සංකේතාත්මක බව දැකිය හැකි ය. චිත්‍රපටයට යොදා ගෙන ඇති නම්, චරිත ආදියෙන් සංකේතාත්මක ව පුළුල් සමාජ කියැවීමක් සිදු කර ඇත. ධීවර ගම්මානයක් වටා චිත්‍රපටය කේන්ද්‍ර ගත වේ. ධීවර ගම්මානයට පිටතින් පැමිණෙන 'වික්ටර් බේබි මහත්තයා’ සහ ඔහුගේ මිතුරු කැළ බඹරුන් පිරිසකට සාම්‍යය කළ හැකි ය. ඔවුන්ගේ පැමිණීමෙන් ධීවර ගම්මානය තුළ ප්‍රබල වෙනසක් ඇති වේ. වික්ටර් බේබි මහත්තයා ධීවර ගමේ සිටින සුරූපි තරුණියක වූ හෙලන් සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කර ගනී. ඊට ධීවර ගම්වාසී සිරිල් අකැමැති වූයේ ඔහු ද හෙලන්ට සෙනෙහස දැක්වීම නිසා ය. වික්ටර් සහ ධීවර ගම්මානය අතර ඇති වන දීර්ඝ කාලීන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස සිරිල් සහ ධීවර ගම්මානයේ ප්රබලයෙකු වූ ඇන්ටනී අබිරහස් ලෙස මිය යති. බඹරු ඇවිත් චිත්‍රපටය විවිධ ආස්ථානවල සිට විචාරය කළ හැකි නිර්මාණයකි. දීර්ඝ කාලයක් තිස්සේ සාම්ප්‍රදායික ගති සිරිත්වලින් සුසැඳි ලාංකීය සමාජයට සමකාලීන යුගයේ අවතීර්ණ වෙමින් පැවති අන්‍ය සංස්කෘතීන් පිළිබඳ ව සංකේතාත්මක සිනමා ප්රකාශනයක් ලෙස ද බඹරු ඇවිත් හැඳින්විය හැකි ය. 1978 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසුව මෙරට තුළට ගලා ආ අන්‍ය සංස්කෘතීන් සහ අන්‍ය බලපෑම් සංකේතානුසාරයෙන් නිරූපණය කිරීමක් බඹරු ඇවිත් සිනමාපටය පුරාවට ම දැකිය හැකි ය. කෙසේ නමුත් බඹරු ඇවිත් චිත්‍රපටය සමාජ යථාර්ථවාදී රීතිය අනුව යමින් නිර්මාණය වූ විශිෂ්ට නිර්මාණයක් බව කිව මනා ය.
‘පාර දිගේ’ චිත්‍රපටය 1980 දී තිරගත වූ චිත්‍රපටයකි. මෙහි කථානායකයා වන්නේ, 'චන්දරේ’ නම් පුද්ගලයෙකි. චන්දරේ සහ ස්වර්ණා අතර ඇති වන ප්‍රේම සබඳතාවේ ප්‍රතිඵලයක් ලෙස ස්වර්ණා ගැබ් ගනී. එහිදී දරු ගැබ විනාශ කිරීමට චන්දරේ තීරණය කරයි. නමුත් ඊට රුපියල් තුන්දහසක මුදලක් අවශ්‍ය වේ. එතැන් සිට චිත්‍රපටය විකාශනය වන්නේ චන්දරේ සහ ස්වර්ණා දරු ගැබ විනාශ කිරීමට රුපියල් තුන්දහසක් සොයා ගැනීමට සිදු කරන ජීවන අරගලය ඔස්සේ ය. මුදල් සොයා ගත්ත ද චන්දරේ සූදු ක්‍රීඩාවට යොමු වීම නිසා සියලු මුදල් අහිමි වේ. අවසානයේ ස්වර්ණා විවාහා කර ගැනීමට චන්දරේ තීරණය කරයි. ඉහතදී සාකච්ඡා කළ අහස් ගව්ව සහ බඹරු ඇවිත් චිත්‍රපටවලට සාපේක්ෂ ව පාර දිගේ සංවේදී වස්තු විෂයක් සහිත චිත්‍රපටයකි. තමාට දාව ඉපදීමට නියමිත දරුවා විනාශ කරන තත්ත්වයට තරුණයන් පත් වීම ඉතා ඛේදජනක තත්ත්වයකි. එවන් තත්ත්වයක් ඇති වීමට පසුබිම් වූ සමාජ තත්ත්වය පිළිබඳ ව සිනමා නිර්මාණයේ දී සාකච්ඡා කෙරේ. දරු ගැබ විනාශ කිරීමට රුපියල් තුන්දහසක් සොයා ගැනීමට චන්දරේ සහ ස්වර්ණා නැතක් දුක් විඳිති. අවසානයේ ගඟට කැපූ ඉණි මෙන් සියලු මුදල් අහිමි වේ. තාරුණ්‍යයේ විපරීත මනෝභාවයන් සහ ඊට පසුබිම් වූ සමාජ ප්රවණතා පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කෙරෙන 'පාර දිගේ' පතිරාජගේ විශිෂ්ට සිනමා නිමැවුමකි. පතිරාජගේ සිනමා භාවිතයේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ, තරුණ මානව මානවිකාවන්ගේ මනෝභාවයන් සියුම් ව විමර්ශනය කිරීමයි. එය සාර්ථක වී ඇති බව උක්ත සිනමා පට තුනෙන් මෙන් ම පතිරාජගේ අනෙක් චිත්‍රපටවලින් ද පෙනී යයි.
සමාජ යථාර්ථවාදී රීතිය අනුව යමින් ගොඩනැඟුණු ධර්මසේන පතිරාජයන්ගේ සිනමාව, මෙරට සිනමාවට නැවුම් අත්දැකීමක් විය. සමකාලීන සමාජය නිරූපණය කළ කැඩපතක් බඳු වූ උක්ත සිනමා භාවිතය තරුණ සිනමා කරුවන්ට විශ්වවිද්‍යාලයක් බඳු ය.
(මෙම ලිපිය, 2019 ඔක්තෝබර් මස 15 වන දින මෙම ලිපියේ රචකයා විසින් දිවයින පුවත්පතේ පළ කරන ලද ලිපිය ඇසුරින් සකසා ඇත.)